Friday 29th of May 2026

English Tamil
Advertiesment


පල්ලේගම හේමරතනගේ වැඩ නිසා ජය ශ්‍රී මහා බෝධියත් අනතුරේ..! 


2026-05-28 1251

 

පුරා විද්‍යාවෙන් අවසර නොගෙන වැලි මළුවේ "Tile" අල්ලලා 

 

බෝධීන් වහන්සේ මරණාසන්නයේ..!

 

විශේෂඥයෝ අනතුරු අඟවති 

 

බෞද්ධයින් පෙරට ආ යුතුයි

 

ඇත්ත කතාව මෙන්න..! 

 

 

ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී ලංකාවට ජාතික උරුමයක් වශයෙන් ද වැදගත් වන අනුරාධපුර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ජීවයට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඊට හේතු වී තිබෙන්නේ උන්වහන්සේ වැඩ සිටින වැලි මළුව "ටෙරකොටා ටයිල්" යොදා ආවරණය කිරීම නිසා බව විශේෂඥයෝ පවසති.

මේ පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කර සිටියේ, මොරටුව විශ්ව විද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර මහතා  වන අතර ඔහු මේ සම්බන්ධයෙන් ඇති ඉංජිනේරු තාක්ෂණික ගැටලුව ගැන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් ද  දැනුවත් කිරීමට කටයුතු කර ඇත. 

මොරටුව විශ්ව විද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර එදින ම එම ස්ථානය සම්බන්ධව අධ්‍යයනයක් සිදු කර එහි ගැටලු සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද  දැනුවත් කර ඇති අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂාවරයාගේ ඉල්ලීම අනුව ඔහු ඒ පිළිබඳව වාර්තාවක් ද සකස් කර ලබා දී තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව තවත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ඇමරිකාවෙන් ගෙන්වා ඇති අතර පරීක්ෂණ සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ඉල්ලා ඇති බවත්, ඒ අවසරය ලැබුණු පසුව ඉදිරි අධ්‍යයන කටයුතු සිදු කරන බවත් මහාචාර්යවරයා පවසයි.

වැලි තලාව මත "ටෙරකොටා ටයිල්" ඇතිරීමෙන් සිදු වන්නේ, එළියේ සිට ඇතුළට එන රස්නය නවතින බවත් එවිට ඉහළින් එන රස්නය පහළට නොයන බවත් එම නිසා ඉහළ ස්ථරය වෙනදාට වඩා රත් වන බවත් ඒ හේතුවෙන් විශාල විකරණ ප්‍රමාණයක්   ශ්‍රී මහා බෝධියට උඩින් සහ යටින් එන බවත් එම විකරණවල බලපෑම ශ්‍රී මහා බෝධියට දරා ගත නොහැකි නිසා ඉදිරියේ දී එම වෘක්ෂය මරණයට පත් වනු ඇති බවත් මහාචාර්ය රංගික හල්වතුර මහතා පෙන්වා දෙයි.  

මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් සිය තාක්ෂණික අධ්‍යයනය සිදු කර මීට අදාළව නිර්දේශ පහක් ඉදිරිපත් කරමින් පිටු දොළහකින් යුතු සකස් කර ඇති අතර එහි සඳහන් වන්නේ, ආසන්නයේ ම ඇති පූජනීය මළුව ප්‍රදේශයේ කුහර සහිත ටෙරාකොටා (මැටිවලින් නිෂ්පාදනය කාල ටයිල්) ඇතිරීම නැවත සලකා බැලීම, අදාළ ස්ථානයේ පුළුල් පාරිසරික සහ තාප තක්සේරුවක් සිදු කිරීම, ස්ථායී කරන ලද වැලි බිමක් හෝ ලා පැහැති ස්වාභාවික ගල් ඇතිරීමක් වැනි පාරගම්‍ය සහ තාප-ස්ථායී මතුපිට ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම, වෘක්ෂයේ මුල් සම්බන්ධ ස්වාභාවික ක්‍රියාවලීන්ට සහය වීම සඳහා ගසේ මුල ආශ්‍රිතව ප්‍රමාණවත් සහ විවෘත පාංශු කලාප පවත්වා ගැනීම, අනාගතයේදී පූජනීය ගස වටා සිදු විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උරුමයන්ට සංවේදී ඉදිකිරීම් මාර්ගෝපදේශ ලබා ගැනීම සහ අවසරයක් ලබා නොගෙන ප්‍රතිසංස්කරණ සිදු නොකළ යුතු බවය.

ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා භූමියක් වන අතර එවන් ස්ථානයක අලුත් වැඩියාවක් හෝ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වන නමුත් ශ්‍රී මහා බෝධියේ වැලි තලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරය ලබා ගෙන නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ මහතා කියා සිටියි. 

මෙම ප්‍රතිසංස්කරණය හ්ව්තුවෙන් ශ්‍රී මහා බෝධියට හානියක් විය හැකි බවට එක් පාර්ශවයකින් වාර්තාවක් ලැබුණ බවත්, බෝධියේ භාරකාරීත්වය දරන පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නි ර්දේශ අනුව ශ්‍රී මහා බෝධියට සුළු හෝ හානියක් ඇති බවට හෙළි වුණොත් අදාළ ඉදි කිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ මහතා දැඩිව අවධාරණය කර සිටියි. 

අටමස්ථානයට අයත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ, ළමා අපචාරයකට චෝදනා ලැබ දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් යටතේ ය.

බුද්ධ වර්ෂ 236 උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයක දේවානම්පියතිස්ස රජ දවස සංඝ මිත්තා තෙරණිය දඹදිව සිට ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව සමග ලක්දිවට වැඩම කළ බව සැලෙකෙයි. අනුරාධපුරය මහමෙව්නා උයනේ රෝපණය කරන ලද එම බෝධීන් වහන්සේ මිනිසුන් විසින් රෝපණය කරන ලද ලොව ලිඛිත ඉතිහාසයක් ඇති පැරණි ම වෘක්‍ෂය ලෙස ද පිළිගැනේ. ඉතිහාස වාර්තා අනුව මෙම වෘක්ෂය වසර 2200කට අධික කාලයක් පැරණිය. 
 

Advertiesment